හොඳම නළුවා වුනත් මම ගමේ කොල්ලෙක් ….

 

‘සුනාමි’ සමග එන ප්‍රධාන නියමුවා දර්ශන් ධර්මරාජ් මුණ ගැහුණේ ඒ ගැන ටිකක් කතා කරන්න.
‘සුනාමි’ කියන්නේ මගේ 21 වැනි ෆිල්ම් එක. දෙයියනේ කියලා මුලින්ම රඟපෑවේ ‘මන්’ කියලා දෙමළ චිත්‍රපටයක. ඊට පස්සේ ‘ඉනිඅවන්’ එ​කේ රඟපාලා තමා ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අතර නමක් ඇතිකර ගත්තේ.

‘‘මම ඉපදෙන්නේ රක්වාන කියන සුන්දර ගමේ. ගෙයි දොර ඇරපු ගමන් පේන්නේ ලස්සන දියඇල්ලක්. තාමත් ඒ සුන්දරත්වයට මම කැමතියි. ඒක නිසාම තමයි තාමත් මම ගමේ ඉන්නේ. සිංහල සිනමාවේ අංක එකේ නළුවා වුණත් මම ගමේ කොල්ලෙක්. පුංචි කාලේ ඉඳලම මම බැලුවේ දෙමළ චිත්‍රපට. සිවාජි, කමල් හසන් තමා මගේ සිනමා වීරයෝ. කවදාහරි මමත් නළුවෙක් වෙනවා කියන සිහිනය තිබුණා. ගමේ ඉඳන් කොළඹ එන්නේ හීන ගොඩක් හිතේ තියාගෙන. කරන්න රස්සාවක් නැහැ, පිටකොටුවේ ඉඳන් මොනවා හරි කරලා කීයක් හරි හොයාගන්නවා.

ඔය අතරේ තමා මම දැක්කේ සිඩ්නි චන්ද්‍රසේකර මහතා A-9 කියන නාට්‍යයට දෙමළ නළුවෙක් ඉල්ලලා දාලා තිබුණ ඇඩ් එක. මමත් ඒකේ ඔඩිෂන් එකට ආවා. 108ක් ඇවිත් උන්නා. මම තමයි අන්තිමයා. නමුත් එදා ඒ චරිතයට මාව තේරුණා.

හැබැයි මට තිබුණේ එල්.ටී.ටී.ඊ.කාරයෙක්ගේ චරිතයක් කරන්න. වාසනාවට මගේ අම්මා, තාත්තා හැටියට රඟපෑවේ කමල් අද්දරආරච්චියි, මාලනී ෆොන්සේකයි. මගේ මුල්ම නාට්‍ය තුළ දැවැන්තයන් දෙදෙනෙක් මට මුණ ගැසුණා.

ඒ නාට්‍යය විකාශනය වෙනකොට මිනිස්සු මාව දැක්කේ එල්.ටී.ටී.ඊ.කාරයෙක් හැටියට. ඔය කාලේ දරුණුවට යුද්දේ යනවා. මම බස් එකේ යනකොට මිනිස්සු කියනවා අන්න අර ටීවී එකේ එල්.ටී.ටී.ඊ.කාරයා ඉන්නවා කියලා.

ඇත්තටම එය මට මානසිකවත් බලපෑවා. එතැන ඉඳන් මම දෙවියන්ට කියනවා මාව මේ සම්ප්‍රදායික දෙමළ චරිතවලින් නිදහස් කරන්න කවුරුත් එන්නේ නැද්ද කියලා.

අශෝක හඳගම, බූඩි කීර්තිසේන ඇවිත් මාව වෙනස් කළා. ඒ වෙනස කොච්චරද කියනවා නම් හොඳම නළුවා සම්මාන තුනක් එක්ක සම්මාන විශාල ප්‍රමාණයක් මගේ කබඩ් එකේ තියෙනවා.

මේ සම්මාන අතුරින් මට ගමෙන් අමුතුම සම්මානයක් ලැබෙනවා. රක්වාන රජයේ විශ්‍රාම ගිය සංසදය එකතුවෙලා දුන්න සම්මානය මට ඔස්කාර් සම්මානයටත් වඩා වටිනවා. මොකද මම ගමට තියෙන්නේ පුදුමාකාර ආදරයක්.

ඔය විදිහට ගලාගෙන ආපු සිනමා ගමන තුළ ‘සුනාමි’ කියන්නේ අදහාගන්න බැරි සිනමා නිර්මාණයක්. මොකද දර්ශන් ධර්මරාජ් සිංහල සිනමාවේ තැනකට කොටුවෙලා උන්නේ. එල්.ටී.ටී.ඊ චරිතයක් ලැබෙයි, නැත්නම් දුෂ්ටයගේ චරිතයක් ලැබෙයි. මම හොඳම නළුවා සම්මානය ගත්තෙත් දුෂ්ට චරිතවලටමයි, තුවක්කු උස්සගෙන රඟපාලා මට ඇතිවෙලා තිබුණේ. ඒකට විරාමයක් ලැබුණා සුනාමි චිත්‍රපටය නිසා. මම කළුයි, ලස්සන නැහැ. මරුමුස් පෙනුමක් තියෙන්නේ. මට සුදු චරිතයක් දෙන්න හැමෝම බයයි. හැබැයි සෝමේ අයියා මාව විශ්වාස කළා. සෝමේ අයියගේ චිත්‍රපටයක රඟපාන්න ලොකු ආසාවක් මගේ හිතෙත් තිබුණා.

මීට අවුරුදු පහකට කලින් මම සෝමේ අයියව මුණ ගැහුණා කොළඹ ජාතික රෝහලේදි. අපි දෙන්නම ලෙඩ්ඩු දෙන්නෙක් බලන්න ඇවිත් උන්නේ. මම සෝමේ අයියත් එක්ක කතා කළා.

‘ඔයාට සෙට් වෙන චරිතයක් තියෙනවා. මම කතා කරන්නම්කෝ’ සෝමේ අයියා එහෙම කියනකොට මට දැනුණේ පුදුම සතුටක්. මොකද සෝමේ අයියගේ චිත්‍රපට හරිම සංවේදියි. මිනිස්සු අතරේ හොඳ ප්‍රතිරූපයක් හදාගන්න ඒක ඉණිමගක් වෙයි කියලා මට හිතුණා. ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණා.

‘ඔයත් දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් නිසා මේ චරිතය අමාරු නැහැ. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙයි’ සෝමේ අයියා සුනාමි පිටපත මට දෙන ගමන් කිව්වෙ එහෙම. ඇත්තටම මේ තිරපිටපත කියවනකොට මට මතක් වුණේ මගේ දෝණිව. පිටපතේ වගේම මටත් ඉන්නේ පුංචි දුවෙක්. අභිනයා ශ්‍රී කියන්නේ මගේ පණ… මගේ නෝනත් ගුරුවරියක්. එයා සුභාෂිනී. ‍මේ දෙන්නම ඉන්නේ ගමේ. මට මගේ නෝනවයි, දෝණිවයි හිතේ හිතාගෙන තමා වැඩේ පටන් ගත්තේ.

මුළු චිත්‍රපටය පුරාම දුවගේ ආදරය මට දැනුණා. චිත්‍රපටයේ රඟපාන දුව මගේම දුවෙක් කරගත්තා. කොහොමත් මම පුංචි දරුවන්ට ආදරෙයි. මගේ මූණ කොච්චර සැරපරුෂ වුණත් මාව දැක්කාම පුංචි ළමයි ඇඬුවත් දරුවෙක්ව වඩාගත්තම අඬන්නේ නැහැ. ඒ ළමයින්ට මාව ස්පර්ශ වෙනකොට මගේ සෙනෙහස දැනෙනවා වෙන්න ඇති.

සුනාමි ෂෙඩූල් එක නියමයි. රැල්ලට ගහගෙන යන දර්ශනය කරනකොට මමත් බය වුණා. කොහොම නමුත් අපි සාර්ථකව අපේ කොටස කළා. විශේෂයෙන්ම මෙම සුනාමිය නිර්මාණය කරපු කලා අධ්‍යක්ෂකගේ දක්ෂතාව ගැන සිහිපත් කළ යුතුමයි.

සුනාමිය තුළ හැම පැත්තකින්ම අපිව ආරක්ෂා කරලා තිබුණා. වතුරවලට විෂබීජ නාශක දාලා තිබුණ නිසා කිසිම බයක් ඇතිකර ගන්න ඕන නැහැ කියලා සෝමරත්න අයියා කිව්වා. ඇත්තටම ඔවුන් අපි ගැන හුඟක් හිතලා තිබුණා.

නිරංජනීගෙන් ලැබුණ සහයෝගය ගැනත් කිව යුතුමයි. නිරංජනී නොහිටියා නම් මට මේ රඟපෑම සාර්ථකව කරන්න බැහැ. ඒ තරම් ලොකු සහයෝගයක් ඇය ලබාදුන්නා. මගේ සිනමා ජීවිතේ ටර්නින් පොයින්ට් එක නිරංගනී ෂම්මුගරාජා වෙයි කියලා මම දැඩි ලෙස විශ්වාස කරනවා.

‘සුනාමි’ දක්වා ආපු ගමන මටත් හිතාගන්න බැහැ. අවුරුදු විසි දෙකක් සපිරෙනවා මගේ සිනමා ජීවිතේට. මම සිනමාවට ආපු කාලේ මගේ වීරයා මහේන්ද්‍ර පෙරේරා සහ ජෝ අබේවික්‍රම. මේ දෙන්නගේ චිත්‍රපට බලන්න මම ආසයි. ටීවී එකේ දූ දරුවෝ කියන ටෙලි නාට්‍යය බලලා මම අඬලා තියෙනවා. සිංහල සමාජය මොනතරම් සංවේදී ද කියන කාරණාව මම දැනගත්තේ දූ දරුවෝ ටෙලි නාට්‍යය හරහා. ‘මැනලද පුතේ කිරි දුන්නේ’ කියන ටෙලි නාට්‍යය මාව සංවේදී කරපු තවත් තැනක්.
ඔය වගේ මතක සටහන් මැද්දේ තමා මේ ගමන ආවේ. පිටකොටුවේ නිදාගත්තු මම අද සම්මාන 15කට වඩා අරගෙන තියෙනවා. ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. ඒක මමම අත්විඳලා තියෙනවා.
හැම තප්පරේම මම සතුටින් ගත කරනවා. සිත් රිදීම් කියන දේවල් මගේ ජීවිතේ නැහැ. මොකද හිත රිදුණත් එක මොහොතකින් මම අමතක කරලා දානවා. හිත රිදීමේ වේදනාව දර්ශන් ධර්මරාජ්ට තප්පර ගාණයි. මොකද ඒ රිදීම බොරුවක් කියලා මම දන්නවා.

වෘත්තියෙන් මම නළුවෙක්. ඒක නිසා ලැබෙන සෑම චරිතයක්ම භාරගන්නවා. රූපවාහිනිය, සිනමාව කියලා විශේෂයක් නැහැ. ලංකාවේ බලපු චිත්‍රපටවලින් මිල්ල සොයා හා මෝටර් බයිසිකල් කියන චිත්‍රපට මගේ හිතේ අමතක නොවන ලෙස රැඳිලා තියෙනවා මේක තමා මගේ ජීවිතේ…

අවසාන වශයෙන් මේ මොහොතේ පුංචි ඉල්ලීමක් කරනවා. ‘සුනාමි’ බලන්න එන්න… මොකද ලංකාවේ සිංහල ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ලැගුම් ගන්න මට ඕන වුණා. සුනාමි තුළ මම ඒක කළා කියලා හැඟෙනවා. මට එහෙම දැනෙන්නේ සුනාමි මංගල දර්ශනය ඉවර කරලා ජැක්සන් ඇන්තනි මහතා මට කිව්ව දේ නිසා…

‘දර්ශන්, මෙන්න මේක තමා රංගනය කියන්නේ. මෙච්චර කාලයක් උඹ හිතේ ලොකු දෙයක් හිර කරගෙන දුෂ්ටයගේ චරිතය රඟපෑවා. හැමදාම මම උඹගේ රඟපෑම දකිනකොට හිතේ හිරවෙලා තිබුණ සංවේදීකම දැක්කා. උඹ ඒක එළියට දුන්නා’

මේ වචන ටික මගේ පපුවේ ඇතුළාන්තයටම දැනුණා.’’

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර

උපුටාගැනීම – අරුණ පුවත්පත (පිණිපලස)

Leave A Reply

Your email address will not be published.