රාජිත පල්ලන්චේනේ පුංචි කාමරයක…. මතට ඇබ්බැහි වූ රෝගීයෙකුත් ඒ කාමරයේම

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පෙරේදා (13 වැනිදා) රිමාන්ඩ් භාරයට පත්කළ පසුගිය යහපාලන රජයේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පල්ලන්චේන විශෝධන මධ්‍යස්ථානයේ ඇති විශේෂ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

මෙම රෝහලේ ඇත්තේ එක් කාමරයක් සහ ඇඳන් හතරකි. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී අසනීප තත්ත්වයේ පසුවන පුද්ගලයෙක්ද රාජිත සේනාරත්න සමග මෙම රෝහල් කාමරයේ සිටිනා බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කොට තිබූ වෛද්‍ය වාර්තා සහ ඔහුගේ ආරක්ෂාව සලකා බැලීමෙන් පසු මෙම කාමරයේ රඳවා තැබීමට පියවර ගත් බවද බන්ධනාගාර උසස් නිලධාරියෙක් පැවසීය.

පල්ලන්චේන කඳවුරට පැමිණි රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයාගේ සුවදුක් විමසීමට දේශපාලනඥයන් රැසක් අවසරය ඉල්ලා ඇතත් ඒ සඳහා කිසිවකුට අවසර නොදෙන ලෙස බන්ධනාගාර මූලස්ථානයෙන් උපදෙස් ලැබී ඇති බවද එම නිලධාරියා තවදුරටත් පැවසීය. රැඳවියන් වෙත පිටතින් ආහාර ගෙන ඒමට අවසර නොමැති නිසා රාජිත සේනාරත්න පල්ලන්චේන විශෝධන මධ්‍යස්ථානයෙන් ලබාදෙන ආහාර අනුභව කරන බවද හෙතෙම කීවේය. රාජිත සේනාරත්න ඇප ලබා පිටව යාමට පෙර කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් පී.සී. ආර්. පරීක්ෂණයකටද යොමු කරන බව එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අරුණ පුවත්පත

Leave A Reply

Your email address will not be published.